එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද දත්ත පෙන්වා දෙන පරිදි, ඉන්දියාව මේ වසරේ මැද භාගයේදී චීනය අභිබවා ලොව වැඩිම ජනගහනයක් සහිත රට බවට පත්වෙමින් ඇති බව වාර්තා වනවා.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් බදාදා නිකුත් කරන ලද ජන විකාශන දත්ත, චීනය සඳහා බිලියන 1.4257 ක් හා ඉන්දියාවේ ජනගහනය බිලියන 1.4286 ක් ලෙස පුරෝකතනය කර තිබෙනවා.
එම 2023 ලෝක ජනගහන වාර්තාවේ දත්ත පෙන්වා දෙන්නේ මිලියන 340 ක ඇස්තමේන්තුගත ජනගහනයක් සහිත එක්සත් ජනපදය තෙවැනි ස්ථානයේ පසුවන බවයි.
කොංගෝ ජනරජය (DRC), ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දියාව, නයිජීරියාව, පකිස්තානය, පිලිපීනය සහ ටැන්සානියාව යන රටවල් අටක් 2050 වන විට ගෝලීය ජනගහනයේ ප්‍රක්ෂේපිත වර්ධනයෙන් අඩකට දායක වනු ඇතැයි අදාළ වාර්තාවේ සදහන්.
එක්සත් ජාතීන්ගේ පෙර දත්ත භාවිතා කරන ජනගහන විශේෂඥයින් අනාවැකි පළ කර ඇත්තේ ඉන්දියාව මේ මාසයේදී චීනය පසුකර යනු ඇති බවයි.
නමුත් ගෝලීය ආයතනයේ නවතම වාර්තාවේ වෙනස සිදුවන්නේ කවදාද යන්න පිළිබඳ දිනයක් සඳහන් කර නොමැති වීම විශේෂත්වයක්.
එක්සත් ජාතීන්ගේ ජනගහන නිලධාරීන් පවසා ඇත්තේ ඉන්දියාවෙන් සහ චීනයෙන් පිටවන දත්ත පිළිබඳ “අවිනිශ්චිතභාවය” හේතුවෙන් දිනයක් නියම කළ නොහැකි බවයි.
විශේෂයෙන් ඉන්දියාවේ අවසන් සංගණනය 2011 දී පවත්වන ලද අතර ඊළඟ සංගණනය 2021 දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එය ප්‍රමාද වී ඇති බව විදෙස් වාර්තා වල සදහන්.
බිලියන 8.045ක් වන ඇස්තමේන්තුගත ගෝලීය ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්දියාව සහ චීනය දරනු ඇතත්, ආසියානු දැවැන්තයන් දෙදෙනාගේ ජනගහන වර්ධනය බැලුවහොත් චීන ජනගහන වර්ධනය ඉතා ම්න්දගාමී බව එම වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.
පසුගිය වසරේ, චීනයේ ජනගහනය දශක හයකට පසු ප්‍රථම වතාවට පහත වැටුණා .
රජයේ දත්ත වලට අනුව, ඉන්දියාවේ වාර්ෂික ජනගහන වර්ධනය 2011 සිට සියයට 1.2 ක සාමාන්‍යයක් වී ඇති අතර, එය පෙර වසර 10 තුළ සියයට 1.7 ක්.