අනුරාධපුර ශික්ෂණ රෝහලේදී වෛද්‍යවරියක් සිය නේවාසිකාගාරයට පැමිණි අවස්ථාවේ දූෂණයට ලක්කිරීමේ සිද්ධියේ සැකකරු සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවස්ථා දෙකකදී රක්ෂිත බන්ධනාගාර ගතකළා.
ඔහුව හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට අධිකරණය නියෝග කළද දූෂණයට ලක් වූ වෛද්‍යවරිය එම අවස්ථා දෙකෙහිදිම අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර අද දිනයේදි සැකකරුව නැවත වතාවක් අධිකරණයට ඉදිරිපත් කළේ ඇයට හඳුනාගැනිම සඳහායි.
ඒ අනුව අද දිනයේදී අදාළ වෛද්‍යරිය අධිකරණයට පැමිණ සිටි අතර එහිදී ඇය සැකකරුව හඳුනාගනු ලැබුවා.
ඒ මහේස්ත්‍රාත් නිල මැදිරියේදී සැකකරුව හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
අනතුරුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේ අදාළ නඩුව යළි විවෘත අධිකරණයේදී කැඳවනු ලැබුවා.
එහිදී සැකකරු අප්‍රේල් 10දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
එම අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අමතමින් සැකකරු පවසා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් ලබාදීමට තමන්ට අවශ්‍ය බැවින් ඒ සඳහා අවසර ලබා දෙන ලෙසයි.
මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැවසුවේ සැකකරු සම්බන්ධයෙන් මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු මගින් වෛද්‍ය වාර්තාවක් කැඳවීමෙන් අනතුරුව ඔහුගේ ඉල්ලීම පිළිබඳව සලකා බැලිය හැකි බවයි.
ඒ අනුව සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කොට, අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කළා.