26 C
Colombo
Monday, November 25, 2024
spot_img

ක්ලබ් වසන්ත ඝාතනයට සහයදුන් මන්ත්‍රීවරයාත් මෙන්න

ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුවකු සහ වෙඩික්කරුවන්ව මෝටර් රථයෙන් රැගෙන පැමිණි රියදුරුවරයා පානදුර පිංවත්ත ප්‍රදේශයේ බස් නැවතුම්පලක් අසල රැඳී සිටින බවට පානදුර කොට්ඨාසය භාර ජ්‍යේෂඨ පොලිස් අධිකාරීවරයාට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඊයේ රාත්‍රියේදී සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගනු ලැබුවා.

එලෙස අත්අඩංගුවට පත්වුණේ ක්ලබ් වසන්ත ඝාතනයට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනාගෙන් අයෙක් වන 32 හැවිරිදි සජිත් ශ්‍රියන්ත ද සිල්වා හෙවත් පොඩි බලයා සහ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයේ රියදුරු වූ 29 හැවිරිදි මදුශංඛ ද සිල්වා නොහොත් බහිරවයා නම් දෙදෙනායි.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, පොලිසිය මාධ්‍ය හරහා ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පැතීමත් සමග තමන්ට සැඟව සිටීමට තැනක් නොතිබූ බවයි.

ක්ලබ් වසන්ත ඝාතනයට ආසන්න දිනකදී තමන් ඇතුළු පිරිස ඩුබායිහී සිටින පුද්ගලයෙකුගේ සම්බන්ධීකරණය මත අතුරුගිරිය ප්‍රදේශයේ නිවසකට පැමිණි බවද ඔවුන් පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

එම නිවසට පැමිණි අයෙකු විසින් පසුදින උදෑසන ඝාතනය කළයුතු පුද්ගලයාගේ ඡායාරූපයක් පෙන්වූ බවත් ඡායාරූපයේ සිටින පුද්ගලයා ක්ලබ් වසන්ත බවට එහිදී හඳුනානොගත් බවත් ඔවුන් පවසා ඇති බවයි වාර්තාවනවා.

අනතුරුව කේ.පී.අයි. ලෙස සටහන් කරන ලද උණ්ඩ යෙදූ මැගසින් සහිත ටී.56 ගිනි අවි දෙක වෙඩික්කරුවන්ට ලබාදී ඔහු එම ස්ථානයෙන් පිවගිය බවට සැකකරුවන් පාපෝච්ඡාරණය කළ බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව පසුගිය ජූලි මස 8 වැනිදා උදෑසන වෙඩික්කරුවන් දෙදෙනා බහිරවයා නැමැත්තා සමගින් මෝටර් රථයකින් අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයට ගොස් ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කර තිබෙනවා.

එහිදී පළමුව ටැටූ මධ්‍යස්ථානයට ඇතුළු වූ පොඩි බලයා නැමැති වෙඩික්කරු සිතා ඇත්තේ, කේ.සුජීවාගේ සැමියා ක්ලබ් වසන්තගේ පෞද්ගලික ආරක්ෂකයෙක් බවටයි.

ඒ අනුව ඔහුට වෙඩි ප්‍රහාර තුනක් එල්ල කළ සැකකරු අනතුරුව සිය පළමු මැගසිනයේ උණ්ඩ අවසන්වන තෙක් ක්ලබ් වසන්තට වෙඩි තැබූ බවට පොලිසියට පවසා තිබෙනවා.

පසුව ඔහු පසුපස සිටි අනෙක් වෙඩික්කරුද ක්ලබ් වසන්තට වෙඩි තැබූ බවයි ඔහු පවසා ඇත්තේ.

අනතුරුව ඔවුන් මෝටර් රථයෙන් පැමිණ වෑන් රථයකට නැග කඩවතට ගොස් එහි සිට මාතර දක්වා බස් රථයකින් පළාගොස් තිබෙනවා.

මාතරදී ඔවුන් සතුව තිබූ ගිනිඅවි වෙනත් අයෙකු පැමිණ රැගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව ඔවුන් කතරගම ප්‍රෙද්ශයේ සැඟව සිටියදී ලොකු පැටී ඩුබායී සිට දුරකතනයෙන් අමතා ඔවුන්ට සුබ පතා තිබෙනවා.

එමෙන්ම කතරගමදී ප්‍රවෘත්ති ප්‍රකාශ නැරඹීමේදී තමන් විසින් ඝාතනය කර ඇත්තේ ක්ලබ් වසන්ත නමැත්තායැයි දැනගත් බවට ඔවුන් පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

ඝාතනය වෙනුවෙන් අවස්ථා කිහිපයකදී මොවුන්ට රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ මුදලක් ලබාදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව පිරිස මාතරට පැමිණ වෙන්වී ගොස් ඇති අතර පොලිසිය මොවුන් අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පැතීමත් සමග නැවත එක් වී විවිධ ස්ථානවල සැඟව සිට ඇති බවයි පොලිසිය පැවසුවා.

එහිදී තමන් දෙදෙනාට බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වූ අමල් සිල්වා නැමැත්තාගේ නිවසේ නවාතැන් ගන්නා ලෙසට ඩුබායි සිට උපදෙස් ලැබුණු බවද ඔවුන් පොලිසිය හමුවේ අනාවරණ කර තිබුණා.

දින 20කට අධික කාලයක් ඔවුන් එහි රැඳී සිට ඇති අතර අමල් සිල්වා විසින් ඔවුන්ගේ භාවිතය සඳහා දුරකතනයක් ද ලබාදී තිබුණු බවද පොලිසිය පවසනවා.

ඒ අනුව බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ගැනුණා.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ, කංජිපානි ඉම්රාන් පැවසූ බව සඳහන් කරමින් ජූඩ් නැමැත්තෙකු තමන්ට දුරකතන ඇමතුමක් ලබාදී පුද්ගලයන් දෙදෙනෙකුව තමන් වෙත එවා ආරක්ෂාව සපයන ලෙස පැවසූ බවයි.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලිසිය වෙත භාරදී ඇති අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මිලිමීටර නවය වර්ගයේ පිස්තෝලයක් හා කේ.පී.අයි. ලෙස සටහන් කරන ලද ටී 56 උණ්ඩ තොගයක් සොයාගැනුණේ ඔවුන් ඝාතනයට පෙර නවාතැන්ගෙන සිටි අතුරුගිරිය නිවසේ සඟවා තිබියදීයි.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත සිදුකෙරෙනවා.

මේ අතර ක්ලබ් වසන්ත ඝාතනයට පසුගිය 22වනදා ත්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් වෙඩික්කරුගෙන් ප්‍රශ්න කිරීම්වලදී ඔහු වැදගත් තොරතුරු රැසක් අනාවරණ කර තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ, මාකඳුරේ මදූෂ් ඩුබායීහීදී පැවැත් වූ සාදයට ක්ලබ් වසන්තට ද ආරාධනා කර තිබූ අතර ඔහු ඊට නොගොස් ඒ පිළිබඳව ආරක්ෂක අංශ වෙත ඔත්තු ලබාදීම හේතුවෙන් ලොකු පැටීගේ අනුදැනුම මත මෙම ඝාතනය සිදුකළ බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe

Latest Articles