32.8 C
Colombo
Wednesday, January 28, 2026

අන්තර්ජාල මුදල් වංචා කළ චීන්නු ඇල්ලු මෙහෙයුම

අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මහා පරිමාණයෙන් ජනතා මුදල් කොල්ලකන ජාවාරම් සම්බන්ධයෙන් පසුගිය දිනවල තොරතුරු රැසක් වාර්තා වුණා.

එලෙස සමාජ මාධ්‍ය ජාලා සහ දුරකථන ඇමතුම් මගින් මූල්‍ය වංචාවල යෙදී සිටි විදෙස් ජාතිකයින් රැසක් නීතියේ රැහැනට හසුකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දින කිහිපයේදී සිදුකළ වැටලීම්වලදී හැකිවුණා.

මෙවන් පසුබිමක අන්තර්ජාල වංචා සිදුකළ තවත් චීන ජාතිකයින් 126 දෙනෙකු මහනුවර කුණ්ඩසාලේ පිහිටි සංචාරක හෝටලයක දී අද අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති අරුණ ජයසිංහ මහතාට ලද තොරතුරකට අනුව මහනුවර පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කීපයක් එක්ව සිදුකළ මෙහෙයුමකදී.

අත්අඩංගුවට ගත් පිරිස අතරට චීන ජාතික තරුණියන් 17 දෙනෙකු ද අයත්.

කෙසේවෙතත් වැටලීම සිදුකරන අවස්ථාවේ තවත් චීන ජාතිකයින් කිහිපදෙනෙක් එම ස්ථානය පිටුපසින් ගලාබසින මහවැලි ගඟ දෙසින් පළා ගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ, වැටලීම සිදුකළ ස්ථානයේ තිබී ලැප්ටොප් පරිගණක 120ක්, ඩෙක්ස්ටොප් පරිගණක 14ක් සහ ජංගම දුරකථන 300කට අධික සංඛ්‍යාවක් ඇතුළු උපකරණ තොගයක් ද සිය භාරයට ගත් බවයි.

සැකකාර චීන ජාතිකයින් පිරිස ඉකුත් සැප්තැම්බර් 30 වැනිදා මෙම සංචාරක හෝටලයට පැමිණ ඇති අතර එහි කාමර 47ක්, ප්‍රධාන උත්සව ශාලාව, භෝජනාගාරය, පිහිනුම් තටාකය ඇතුළු ස්ථාන භාවිත කරමින් හෝටල් කාර්ය මණ්ඩලයට හෝ පිටස්තර පිරිස් වෙත ඇතුළුවිය නොහැකි තහනම් කලාපයක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙනවා.

ඒ අනුව අනාවරණ වී ඇත්තේ, හෝටල් පාලනාධිකාරිය දැනුවත්ව මෙම අන්තර්ජාල මූල්‍ය වංචාව සිදුකර ඇති අතර දෙපාර්ශ්වය අතර සන්නිවේදනය සඳහා චීන ජාතික භාෂා පරිවර්තකවරියක් ද යොදා ගෙන ඇති බවයි.

දින අටකට වරක් හෝටල් ගාස්තු ගෙවීමේ එකඟතාවක් මත මෙම චීන ජාතිකයින් පළමු දින 8 ට පමණක් ආහාරපාන සඳහා ගෙවා ඇති මුදල රුපියල් ලක්ෂ 46ක්.

විමර්ශන කණ්ඩායම් පැවසුවේ, අද සිදුකළ වැටලීමේදී අත්අඩංගුවට ගත් පිරිස අතරට පසුගියදා හම්බන්තොට මෙවැනි ස්ථානයක සිදුකළ වැටලීම අතරතුර පළාගිය චීන ජාතිකයින් 26 දෙනා ද හමුවූ බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles