PayPal මගින් ලංකාවට මුදල් ගෙන්වා ගැනීමට නිල අවසරය

ඩිජිටල් ආර්ථිකයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී සිදු කෙරිණි.

මෙතෙක් කාලයක් ශ්‍රී ලාංකික PayPal ගිණුම් “මුදල් යැවීමට පමණක්” (Send Only) සීමා වී තිබූ අතර, එමඟින් පරිශීලකයින්ට විදේශයන්ට ගෙවීම් කිරීමට හැකි වුවද ජාත්‍යන්තර සේවාදායකයින්ගෙන් මුදල් මෙරටට ලබා ගැනීමට නොහැකි විය.

මෙම සීමාව ශ්‍රී ලාංකික නිදහස් වෘත්තිකයන්ට සහ ව්‍යාපාරවලට විශාල බාධාවක්ව පැවතුණි. මෙම සේවාව පුළුල් කිරීමත් සමඟ අන්තර්ජාලය ඔස්සේ සේවා සපයන සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට තම ඉපයීම් සෘජුවම මෙරට බැංකු ගිණුම් වෙත ලබා ගැනීමට හැකි වන අතර, එමඟින් රටට ලැබෙන නිල විදේශ විනිමය ප්‍රමාණය ද ඉහළ යනු ඇත.

වසර දොළහකට අධික කාලයක් තිස්සේ පැවති සාකච්ඡා, ප්‍රමාදයන් සහ අඛණ්ඩ උත්සාහයන් රැසකින් අනතුරුව ළඟා කර ගත් මෙම ප්‍රගතිය ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය, නිදහස් වෘත්තික (Freelancer) ප්‍රජාව, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය, ආරම්භක ව්‍යාපාර (Startups), සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර, අපනයනකරුවන් සහ ඊ-වාණිජ්‍ය (e-commerce) ආශ්‍රිත කර්මාන්ත ආදිය සඳහා සුවිශේෂී පරිවර්තනීය පියවරක් ලෙස හැඳින්විය හැකිය.

මෙම සහයෝගීතාව අනුව, ආරම්භයක් ලෙස, ලංකා බැංකුව (BOC), කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව යන බැංකු මගින් PayPal සේවා මෙරට තුළ ක්‍රියාත්මක වනු ඇති අතර, ඉදිරි කාලයේදී අනෙකුත් බැංකුද මේ සමඟ එක්වනු ඇත.

1998දී කැලිෆෝනියාවේ ආරම්භ කරන ලද PayPal ආයතනය ලොව විශාලතම ඩිජිටල් ගෙවීම් වේදිකාවලින් එකක් වන අතර, එය රටවල් 200කට අධික සංඛ්‍යාවක පරිශීලකයින් මිලියන 430කට වඩා වැඩි පිරිසකට සේවා සපයමින් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.5කට වඩා වැඩි ගනුදෙනු ප්‍රමාණයක් සිදු කරයි. එය ගෝලීය නිදහස් වෘත්තික වේදිකාවල මෙන්ම ඊ-වාණිජ්‍ය වේදිකාවලද බහුලව භාවිත වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version