24 C
Colombo
Monday, November 25, 2024

දෙමටගොඩ චමින්ද රටින් පැන්නීමේ කුමන්ත්‍රණයක් බුද්ධි අංශට හසුවෙයි

මරණ දඬුවම නියම වී සිටින, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන, දෙමටගොඩ චමින්ද බේරාගෙන, රට පැන්නීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පොලිස් බුද්ධි අංශ විසින් කරුණු හෙළි කරගෙන ඇති බවට තොරතුරු වාර්තාවනවා.

කළුතර එතනමඩල දී බන්ධනාගාර බසයකට වෙඩි තබා රණාලේ සමයං ඝාතනය කළ ආකාරයටම, බන්ධනාගාර බසයකට වෙඩි තබා නිලධාරීන් ඝාතනය කර දෙමටගොඩ චමින්ද බේරා ගැනීමේ සැලසුමක් ඇති බවටයි තොරතුරු අනාවරනය වි ඇත්තේ.

මේ හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින දෙමටගොඩ චමින්ද, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙත මාරු කර යැවීමටත්, ඔහු කිසිඳු නඩු කටයුත්තකට හෝ විවෘත අධිකරණයකට ඉදිරිපත් නොකිරීමටත් ආරක්ෂක අමාත්‍යංශය, බන්ධනාගාර දෙපාර්තුමේන්තුවට නියෝග කර තිබෙනවා.

කුප්‍රකට පාතාල කල්ලි සාමාජික දෙමටගොඩ චමින්ද නමැත්තාට එරෙහිව අපරාධ නඩු කිහිපයක්ම විභාග වන අතර ඔහුට මරණ දඬුවම හිමිව ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන්.

2011 වසරේ ඔක්තෝබර් මස 08 වැනිදා බස්නාහිර පළාත් සභා ඡන්දය පැවැති දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දෙමටටගොඩ චමින්ද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකු වැරදිකරුවන් වීම හේතුවෙන් ඔවුන්ට මරණ දඬුවම නියම කෙරුණා‌.

කෙසේවෙතත් දෙමටගොඩ චමින්ද සම්බන්ධයෙන් විභාග වන අනෙක් නඩු සඳහා ද බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු රැගෙන එනු ලබන්නේ පූර්ණ ආරක්ෂාව යටතේයි.

දෙමටගොඩ චමින්ද සිදුකළ පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ගනුදෙනු මේ වනවිට මෙහෙයවනු ලබන්නේ ඔහුගේ සොහොයුරු දෙමටගොඩ රුවන් විසින්.

දෙමටගොඩ චමින්ද බන්ධනාගාරය වෙත රැගෙන එන අතරතුර සන්නද්ධ කණ්ඩායමක් යොදවා බන්ධනාගාර බස් රථයට වෙඩි තබා ඔහු මුදා ගැනීම, දෙමටගොඩ රුවන් සැලසුම වී ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.

ඒ සදහා අවශ්‍ය ගිනිඅවි සහ පිරිස් මේ වනවිටත් සුදානම් කරගෙන තිබෙන බවට ද බුද්ධි අංශ විසින් වැඩිදුරටත් තොරතුරු හෙළිකර ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් සියලුම නඩු සඳහා, ස්කයිප් තාක්ෂණය ඔස්සේ දෙමටගොඩ චමින්ද ඉදිරිපත් කිරීමටත්, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ පූර්ණ ආරක්ෂාවක් යටතේ රැඳවා තැබීමටත් පියවර ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version