ඩෑන් ඝා@තනය කිරීමේ සිද්ධිය සැලසුම් කළ මහ මොළකරු

දේශපාලන ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් සාලමුල්ල නිවාස සංකීර්ණයේ නිවසක මත්පැන් පානය කරමින් සිටියදී වෙඩිතබා ඝාතනය කෙරුණේ පසුගිය 22 වැනිදායි.

බරපතළ තුවාල සහිතව රෝහල්ගත කළ ඩෑන් ප්‍රියසාද් එහිදී ජීවිතක්ෂයට පත්වු අතර වෙඩි කරුවන් වෙඩිතැබීමෙන් පසු යතුරු පැදියකින් පලාගොස් තිබුණා.

ඩෑන් ප්‍රියසාද්ගේ බිරිඳගේ බාල සහෝදරියගේ සැමියා සහ ඔහුගේ පියාට ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර ඔවුන් ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේද ප්‍රධාන සැකකරුවන් දෙදෙනායි.

එවන් පසුබිමක, ඝාතනය සැලසුම් කළ බවට සැකකෙරෙන දුලාන් මධුසංඛ හෙවත් දුලා නැමැත්තා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් වැල්ලම්පිටියේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් සමග අද අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු සැකකාර පියපුතු දෙපළගේ සමීප ඥාතියෙකු වන අතර ඩෑන්ගේ සොහොයුරා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද චෝදනා එල්ලවූවෙක්.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, මීට දින හතරකට පෙර තම ත්‍රි රෝද රථයෙන් ගමන් කරමින් සිටියදී ඩෑන් එය නවත්වා තමන්ට සහ තවත් අයෙක්ට පහරදුන් බවයි.

පසුව ඒ පිළිබඳව තමන් කොළොන්නාවේ ධනුෂ්ක නැමැත්තාට පැවසීමේදී ඔහු “පොඩ්ඩක් හිටපන්, මම කංජිපානි ඉම්රාන් සම්බන්ධ කරලා දෙන්නම්” යනුවෙන් පවසා ජංගම දුරකතන මෘදුකාංගයක් හරහා කංජිපානි ඉම්රාන් සම්බන්ධ කරදුන් බවද ඔහු පවසා තිබෙනවා.

එහිදී කංජිපානි ඉම්රාන් “වැල්ලම්පිටිය පොලිසියට ගිහින් උඹ පැමිණිල්ලක් දාපන්. පොලිසියට එද්දි ඌට ගහමු” යනුවෙන් උපදෙස් දුන් අතර ඒම උපදෙස් අනුව වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් සැකකරු පොලිසියට පවසා තිබුණා.

අනතුරුව පැමිණිල්ල විභාග කිරීම සඳහා ඩෑන් ප්‍රියසාද්ට පසුගිය 22වනදා එනම් ඝාතනය වූ දින වැල්ලම්පිටිය පොලිසියට පැමිණෙන ලෙස දැනුම්දුන්නද ඔහු එහි නොපැමිණීම හේතුවෙන් ඝාතන උත්සාහය ව්‍යාර්ථ වී තිබෙනවා.

අනතුරුව කංජිපානි ඉම්රාන් නැවතත් තමාට දුරකථන ඇමතුමක් ලබාදී “අරූට ගහන්න එකෙක් මදි. උඹ වරෙන්. ඌ හවස සෙට්වෙනවා” යනුවෙන් පවසා තිබෙනවා.

පසුව සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව සැකකරු මෙතෙක් නිසිලෙස පවසා නොමැති බවයි වාර්තාවන්නේ.

කංජිපානි ඉම්රාන් දිවයිනට ගෙන්වන ලෙසට විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කිරීම සහ ඔහුට එරෙහිව අදහස් පලකිරීම හේතුවෙන් කංජිපානි, ඩෑන් ප්‍රියසාද් සමග වෛරයෙන් පසුවීම හේතුවෙන් ඝාතනය සඳහා ඔහු විසින් වෙඩික්කරුවන් ලබාදී ඇති බවට සැකපලවනවා.

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට ලක්වූයේ එදිනම පස්වරුවේ සිය බිරිඳගේ මහගෙදරට පැමිණ මත්පැන් සාදයක් පවත්වමින් සිටියදීයි.

ඒ අනුව පොලිසිය අදාළ නිවසේ පදිංචි කාන්තාවක වන ඩෑන් ප්‍රියසාද්ගේ බිරියගේ සොයුරියකගෙන් ප්‍රකාශ සටහන්කරගෙන තිබෙනවා.

එහිදී ඇය පවසා ඇත්තේ, තමන්ට අයත් යතුරුපැදියක්  එදින ඩෑන් ප්‍රියසාද් මැදිහත්වී විකුණාදීම නිමිත්තෙන් සිය නිවසේ මත්පැන් සාදයක් පැවැත්වූ බවයි.

ඝාතනයට ලක්වීමට පැය 3කට පමණ පෙර එහි පැමිණි ඩෑන්,පවුලේ අය සමග පැමිණෙන බව පවසා පිටව ගිය බවත්,අනතුරුව රාත්‍රියේ යළි පැමිණි බවත් ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඩෑන් ප්‍රියසාද්ගේ දේහය අද බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණභාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version