26 C
Colombo
Monday, November 25, 2024

පරාජය යළි යළිත් උරුම කරමින් සිංහයන් යළිත් පරදී

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සිව්වැනි තරගය ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය පැවැත්වුණේ ඉන්දියාවේ දිල්ලිහි Arun Jaitley ක්‍රීඩාංගණයේදී.

එහිදි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 102කින් පරාජය කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ජය හිමිකර ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, ඔවුන් විසින් පළමුව පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 49 ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 428 ක් ලබා ගැනීමට සමත් වුණා.

දකුණු අප්‍රිකානු ඉනිම පළමු කඩුල්ල ලෙස නායක Temba Bavuma ලකුණු 8 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්වුණා. Quinton de Kock ලකුණු 100 Rassie van der Dussen ලකුණු 108, Aiden Markram ලකුණු 106, David Miller ලකුණු 39, Heinrich Klaasen ලකුණු 32 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී දිල්ශාන් මධුශංක කඩුලු 02 ක් ද, කසුන් රාජිත, මතීෂ පතිරණ, දුනිත් වෙල්ලාලගේ කඩුලු 01 බැගින් දවා ගත්තා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 429ක දැවැන්ත ඉලක්කයක් ලබා දුන්නා.

ඒ අනුව, පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවී ගිය අතර, කුසල් පෙරේරා ලකුණු 7ක් ලබා සිටියදී දැවී ගියා.
ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩාකළ කුසල් මෙන්ඩිස් පන්දු 42කට ලකුණු 76ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගිය අතර, චරිත් අසලංක පන්දු 65කට ලකුණු 76ක් ලබා සිටියදී දැවී ගියා.
එමෙන්ම වගකීම් සහගත පිතිකරණයක නිරත වූ නායක දසුන් ශානක මෙම තරගයේදී පන්දු 62කට ලකුණු 68ක් ලබා ගත්තා.
සධීර සමරවික්‍රම ලකුණු 23ක්ද, ධනංජය ද සිල්වා ලකුණු 11ක්ද, කසුන් රාජිත ලකුණු 33ක්ද, මතීෂ පතිරණ ලකුණු 05ක්ද, ඩිල්ශාන් මධුශංක නොදැවී ලකුණු 04ක්ද ලබා ගත්තා.
පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ Gerald Coetzee කඩුලු 03ක්ද, Marco Jansen,Keshav Maharaj සහ Kagiso Rabada කඩුලු 02 බැගින්ද, Lungi Ngidi කඩුලු 01 බැගින්ද දවා ගත්තා. එ අනුව ලකුණු 429ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 44යි පන්දු 05ක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 326ක් පමණයි.
එක්දින ලෝක කුසලානයේ පස්වැනි තරගය සත්කාරක ඉන්දියාව සමඟ ඔස්ට්‍රේලියාව චෙන්නායිහි MA Chidambaram ක්‍රීඩාංගණයේදී එරට වේලාවෙන් හෙට පස්වරු 02.00ට ආරම්භ වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version